Sunday, April 3, 2016

නිවන

නිවණ (නිර්වාණය) යනු බෞද්ධයන් විසින් බලාපොරොත්තුවන උසස්ම ධර්මතාවයි. පුද්ගලයෙකු රාගය, ද්වේෂය සහ මෝහය ක්‍ෂය කිරීම නිර්වාණය වේ. යමෙක් බාහිර වස්තුන් පිලිබඳ ඇල්මක් ඇතිකර ගනීද , නොඑසේනම් බාහිර වස්තුන් සමග ගැටීමකට යොමුවේද හෙතෙම නිවන නොදකියි. බවයටම පිවිසෙයි. සසර ගමන දිගුකර ගනී.  නිවන පිළිබඳව කියැවෙන ඕනෑම ත්‍රිපිටක දෙසනාවකින් මේ බව තහවුරුකර ගත හැක. පස්කම් සැපයට ඇති ඇල්ම ආශාව හා බැඳීම රාගය ලෙස හැඳින්විය හැක. ඇස, කණ, නාසය , දිව , ශරීරය සහ මනස යන මේ ඉන්ද්‍රියයන් තුල නිරන්තරයෙන්ම ඇතිවන්නාවූ හා පවතින්නාවූ රුප, ශබ්ද, ගඳ, රස, ස්පර්ශ, සහ අරමුණු පිලිබඳ දැඩිව අල්වාගැනීමේ කැමැත්ත ඒවා නැවත නැවත ලබා ගැනීමට දක්වන බලවත් උනන්දුව කාම රාගය හෙවත් කාමච්චන්දය ලෙස හැඳින්විය හැක. තමා නොකැමැති දෙයට නොඑසේනම් විරුද්ද දෙයට හෝ කෙනාට දක්වන නොකැමැත්ත හෙවත් තරහව ද්වේශය ලෙස දැක්විය හැක.ඇතැම් විටෙක මෙය තමා තමා කෙරෙහිම වුවද ඇතිකරගන්නා අවස්ථා ඇත. ද්වේශය ඇතිවන්නේද තමා තුල පවතින්නාවූ තන්හාව මුල්කරගනමය.   
මෝහය හෙවත් මුලාව නම් සත්‍යය නොදකිම සහ දහමට පටහැනි මාර්ග තුලින් මෝක්ෂය හෝ සැනසීම අපේක්ෂා කිරීම වේ. සුනක, ගව , වැනි වෘත සමාදානය තුලින් හෝ දේව විශ්වාස තුලින් සදාකාලිකවූ සැනසීම ප්‍රාර්ථනා කිරීම මෝහය හෙවත මුලාව වේ. මේ ක්ලේශ දර්ම සිත්හි තදින් පවතින තාක් කල් සත්වයා සසර ඉපදෙමින් මැරෙමින් භව ගමන දිගු කර ගනී. ඉදින් යමෙක් මේ ක්ලේශ ධර්ම ප්‍රහාණය කරයිද හෙතෙම උතුම්වූ නිවන' 'අවබෝධකර ගනී.

නිවන් අවබෝධකර ගැනීමට කැමති තැනැත්තේ තමා ප්‍රථමයෙන් මේ සංසාරය දුකක් ය යන නිවැරදි දැක්මට පැමිණිය යුතුය. නොඑසේනම් නිවනක අවශ්‍ය තාවය හෙතෙම නොදකී.  අප තිලොවග බුදුපියාණන් වහන්සේ සුමේධ තාපසව සිටියදී නිවන් දැකීමේ සමත් ප්‍රඥාව ඇතිව සිටි නමුත් සියලු ලෝක සත්වයා කෙරෙහි පතලාවූ අප්රමාණ දයා කරුණාව හේතුවෙන් බුද්දත්වය ලැබීමට අදිටන් කොට නියත විවරණ ඉල්විය. එතැන් පටන් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය දක්වා එතුමෝ ඇස් ඉස් මස් ලේ පමණක් නොව සරීරය පවා දන්දෙමින් අප්රමාණ දුක් විඳිමින් බුදුබව පතා පැමිණියාහුය. එතුමෝ සිද්ධාර්ථ කුමාරව සිටි අවදියේ අසීමිත සැප සම්පත් වින්දාහ. නමුත් කම් සැප විඳීමේ අස්ථිර බව නොහොත් අනියත බව එතුමෝ නුවනින් (ප්‍රඥාව) දුටහ. එබැවින් සැප සම්පත් අලුයම ලු කෙලපිඩක් සේ සලකා එතුමෝ භව නිරෝධය පතා වන වැදුනාහ. එතුමෝ නිවන පතා කෙනෙකුට විඳීමට තබා සිතීමටවත් නොහැකි තරම් අප්රමාන දුක් වින්දාහ. අපමනවූ සැප විඳීමහෝ දුක් විඳීම අනර්ථවත් බව නුවණින් අවබෝධ කල එතුමෝ මැදුම් පිළිවෙත අනුගමනය කොට සියලු දුකින් මිදුනාවූ නිවන ප්‍රත්‍යක්ෂ කළහ. එසේ අසීමිත සැප සම්පත් හා අසීමිත දුක් විඳීමේ අතදැකීම තමාම අත්විඳි එතුමෝ නිර්වාණයේ සුවය තමා දකිමින්ම   අන් අයටද එහි අගය දෙසනා කළහ. ඒ මග කියා දුන්හ. උන්වහන්සේ දෙසනා කල ඒ සදහම් මග අදද සන්දිට්ඨිකව හා අකාලිකව පවතින බැවින් ඕනෑම අයෙකුට නුවනින් විමසා බලා දැක ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ අවස්තාව ඇත. ඒ සඳහා තමා තුල විස්වාසය හා අවශ්‍ය තාවය තිබිය යුතුය. මේ සඳහා කල්‍යාණ මිත්‍ර ඇසුර අත්‍යවශ්‍යයි.